පණ්ඩිත අශෝක කරුණාරත්න
අඩාළ:
අඩ+හළ යන දෙ පදය එක්වීමෙනි අඩාළ යන පදය හැදෙන්නේ. උච්චාරණ පහසුව තකා හකාරය ලොප් වන අතර හකාරය තුළ වූ අකාරය ඉතිරි වෙයි. අඩ+අළ යනුවෙන් අකාර දෙකක් (අඩ්+අ+අළ) පවතින විට සමාන ස්වර දීර්ඝ සන්ධි ක්‍රමය අනුව අ, අ යන ස්වර දෙක දීර්ඝ ආකාරයකට පත්වෙයි. (අඩ්+ආළ) හල් ඩ් ව්‍යඤ්ජනාක්ෂරය ආ කාරය හා එක්කෙරෙන විට අඩාළ යන තනි වචනය නිපැදෙයි.ශ්‍රී සුමංගල ශබ්දකෝෂය අඩාළ යන වචනයට අර්ථ දක්වා තිබෙන්නේ “අඩක් අත්හළ, කොටසක් ඉතිරි, අසම්පූර්ණ (32 පිටුව) යනුවෙනි.
යම්කිසි කාර්යයක් ආරම්භ කිරීමෙන් පසුව අඩක් පවත්වාගෙන යන අතර එය අත්හැර දැමීම සඳහා හේතු විවිධ විය හැකිය. එකී කරුණු අතරට සැලසුමකින් තොරව වැඩකට අත ගැසීම යන්නත් එක්වෙයි. පූර්ව හැදෑරීමක් හා අත්දැකීම් ඇත්තේ ඇසුරු කිරීමත් යම්කිසි කටයුත්තකට අතගැසීමේ දී වැදගත් වෙයි.
“ආත්ම බුද්ධිඃ සුඛං දේති - ගුරු බුද්ධිඃ විශේෂතාම්
ස්ත්‍රී බුද්ධිඃ විනාසාය - බහු බුද්ධිඃ මරණං භවේත්”
යනුවෙන් දැක්වෙන ශ්ලෝකයෙන් ආත්මාවබෝධය හා ගුරූපදේශ වැදගත් වන වග දැක්වෙයි.
නිශ්චිත අවබෝධයකින් පටන්ගැනෙන කාරියක දී අතර මඟ දී මුහුණ දෙන්නට සිදුවන අභියෝග හමුවේ නොසැලී පසු නො බැස අපේක්ෂිත ඉලක්කය වෙත යන්නට තරම් වන ධෛර්යයක් හා විනිවිද දැකිමේ හැකියාවක් අවශ්‍ය වෙයි.
“වායමේථේව පුරිසෝ
යාව අත්ථස්ස නිප්ඵදා”
යන ධම්මපද පාළියේ දැක්වෙන ගාථා පද දෙක ඉතා වැදගත් උපදේශයක් දෙයි. අර්ථ නිෂ්පත්තිය හෙවත් බලාපොරොත්තුව ඉටුවීම දක්වා ම ව්‍යායාමය අත් නො හළ යුතු බවයි ගෞතම බුදුරජාණන් වහන්සේ එමඟින් උපදෙස් දී තිබෙන්නේ. අභියෝග හමුවේ පසුබැසිම හා උත්සාහය අත්හැර දැමීම දීන පිළිවෙතක් වගයි
සිරිසඟබෝ කුමාරයාට දෙන අවවාදවල දී එළු අත්තනගලු වංශය දක්වා තිබෙන්නේ.
“උද්‍යෝගිනං පුරුෂ සිහෙමුපෛති ලක්ෂ්මී
දෛවේත දේයමිති කා පුරුෂා වදන්තී
දෛවං නිහත්‍ය කුරු පෞරුෂමාත්ම ශක්ත්‍යා
යත්නේ කෘතේ යදි න සිද්ධ්‍යති ක්ෂේත්‍ර දෝෂඃ”
උද්‍යෝගවත් පුරුෂ සිංහයන් කරා ලක්ෂ්මිය හෙවත් වාසනාව එළඹෙයි. දෛවය අනුව දිය යුත්තකැයි කියන්නේ නින්දිත මනුෂ්‍යයෝයි. දෛවය අමතක කොට (අතහැර) ආත්ම ශක්තියෙන් පුරුෂ වීර්යය යෙදිය යුතුයි. උත්සාහ කොටත් ඉටු නො වේ නම් එහි වරද කොතැන ද යන්න මෙම ශ්ලෝකයේ අදහසයි.
අද අප රටේ බොහෝ දෙනා දයිවය, ඉරණම යන පද ගැන මුල්තැන දී කටයුතු කරනු දකින්නට ලැබෙන්නකි. මන්දෝත්සාහී බව ඇති කොට ලීමට මෙම දයිවය ගැන තබන විශ්වාසය හේතු වී තිබේ.
“න හි සුප්තස්‍ය සිහෙස්‍ය
ප්‍රචිශන්ති මුඛේ මෘගාඃ”
යන ශ්ලෝක දෙපදය දක්වන්නේ නිදාගෙන සිටින සිංහයාගේ කටට මුවෝ නො පිවිසෙති යන්නයි. ආහාර සොයා ගැනීමට සිංහයා වෙහෙසක් ගත යුතු වෙයි.
අඩාළ බව අත්හැර දැමීමට මෙ කී උපදේශ වැදගත් වෙයි.