යාමය
යාමය යනු කාලපරිච්ඡේදයකි. රාත්‍රී කාලය යාම හෙවත් කාල
කොටස් තුනකට බෙදේ. පූර්ව යාමය (පෙර යම), මධ්‍යම යාමය (මැදියම) හා ආලෝක යාමය (අලුයම).
අලුයම පටන් ගැනෙන්නේ ගනඳුරු දුරුවී සහන් එළිය වැෙටන්නට
වූ විට. හිරු නැඟ ආවාට පසු අලුයම යයි කියනු නොලැබේ. හිරු උදාව හා සමඟ ඇතිවන්නේ
උදයයි. මේ නොබෝදා විද්‍යුත් නාළිකාවෙක කිසිවකු උදේ 8ට පමණ ‘මේ අලුයම් කාලයේ’ යනුවෙන් කියනු ඇසිණි. උදේ 8ට අලුයම යැයි කියනු බැරිය.
අලුයම් කාලයට හිමිදිරිය යන නම ද යෙදේ. ‘හිමිදිරිය’
හැදී ඇත්තේ හිම දරන හෙයිනි. එසේ හිමිදිරි කාලයට හිම පතිතවීම
අනිවාර්යයෙන්ම සිදුවිය යුතු නැත.
යාමයට තව සමහරු ජාමය යයි කියති. එහෙත් රෑ ජාමය යැයි කී
විට එයින් අදහස් කරන්නේ ඉහත කී යාමයන් නොව ‘මහ රෑ’
යන්නය. තව ඇතැමුන් රෑ ජාමය යනුවෙන් අදහස් කරන්නේ අන්ධකාරය සහිත
කාලපරිච්ඡේදයයි. “මේ රෑ ජාමේ
ගෙදරින් දොට්ට බහින්න එපා” යි දරුවනට ඔවා දෙන්නේ ඒ උදවියයි.
ගිනි නිවන භටයෝ
‘ගිනි නිවන භටයෝ
කැඳවති’ යනුවෙන් ලොකු සිරසක් දකින්නට ලැබුණේ දිනපතා පත්‍රයෙකය.
ගිනි නිවන භටයන් කැඳවා ඇත්තේ කවුරුන් ද?
‘භටයන් කැඳවති’
යනුවෙන් වූ කළ කැඳවනු ලබන්නා අනෙක් පක්ෂයෙකි. එහෙත් මෙය ලියූ තැනැත්තා බලාපොරොත්තු වන්නේ අන් කිසිවකු විසින් ගිනි නිවන භටයන් කැඳවනු ලැබූ බවෙකි.
ඒ එසේ නම් ‘භටයෝ’
යන උක්ත රූපයෙන් ‘කැඳවති’
යන ආඛ්‍යාතයක් මෙතැනට ගැළපෙන්නේ නැත. මෙය නිවැරැදි විය යුත්තේ ‘ගිනි නිවන භටයෝ කැඳවනු ලබති’
යනුවෙනි. ‘ගිනි නිවන භටයෝ කැඳවෙති’
යනුවෙන් ද ලිවිය හැකිය.
නිලධාරීහු
ඉහත කී වැකියෙහි මෙසේ ද සඳහන් වේ.
‘වරාය ආරක්ෂක
නිලධාරීහු එම ප්‍රදේශය තහනම් කලාපයක් වශයෙන් ප්‍රකාශකොට ආරක්ෂාව සපයා ඇත.’
මෙයද වැරැදි වැකියෙකි. ‘නිලධාරීහු’
යන්නෙන් පටන්ගෙන ‘ඇත’
යන්නෙන් අවසන් කරනු බැරිය.
පත්වූහ
‘බොහෝ දෙනකු
ජීවිතක්ෂයට පත්වූහ’ මේ වූ කලී පුංචි තිරයේ නිවේදනයකින් අසන්නට ලැබුණු වැකියකි. ‘පත්වූහ’
යන ආඛ්‍යාතෙයන් ‘දෙනකු’
උක්ත විය නොහැකි බව ඒ නිවේදකයා මෙන්ම වගකිවයුතු අනෙක්
තැනැත්තවුන් ද නොදන්නා සේය. මෙවැනි වැකි නිතොර අසන්නට ලැබේ.
කකුල
සමහරුන් ‘කකුළ’
යනුවෙන් ලියන බව පෙනේ. එහෙත් එය වැරැදිය. නිවැරැදි වන්නේ ‘කකුල'ය.
ඡායා
ඡායාව, ඡායා රූප, ඡායා මාත්‍ර යන ආදී තන්හි ඇතැමුන්
මුලට යොදන්නේ ‘චා’
යන්න බව පෙනේ. පුංචි තිරයෙහි නිතොර දැකිය හැකිය.
‘ඡ’
වෙනුනට ‘ච’
යොදනු වැරැදිය.
ඡායාව යනු සෙවණැල්ලය. පාරුන්ධ වස්තුවක් මත පතිත වූ ආලෝකය
විනිවිද යා නොදී රැඳීම නිසා ඒ වස්තුවට මුවා වූ ප්‍රදේශයේ ඇතිවන අඳුරුගතිය,
ජලය, දර්පණතල ආදියෙහි නිරූපණය වන
පිළිරුව කාන්තිය, ඡායාව - හිරු දෙවියන්ගේ බිරිය, සංගීතයෙහි දැක්වෙන රාගයක්.
අම්මෝ
සිංහල අස්සේ ඉංගිරිසි වචන සිංහල අකුරෙන් යොදන අවස්ථාව
පසුකොට සිංහල අකුරු අස්සේ ඉංගිරිසි අකුරු ඉංගිරිසියෙන්ම යොදන අවස්ථාවකට එළඹි අයුරු
අපි පෙන්නා දුනිමු. ඉන්පසුව තවද අලුත් වචන කීපයක්ම දකින්නට ලැබිණි. ‘AL ඉවරයි’ යනු ඒ එකකි.
දැන් ඊටත් වඩා අලුත් අවස්ථාවක් එළඹ ඇති අයුරු මේ බලන්න.
“අම් MO”.
සිංහල අකුරෙන් ‘අම්'. ඊළඟට ඉංගිරිසි අකුරෙන් ‘MO’
(අම්MO)
මේ කියන්නේ ‘අම්මෝ’
යන්නය. මේ අන්දමින් ‘අම්මෝ’
යි ලියන්නට ගත්තොත් සිංහල භාෂාව ඉතිරිවේද?
ස්වර්ණ පුස්තක
ශ්‍රී ලංකා ග්‍රන්ථ ප්‍රකාශකයින්ගේ සංගමය මඟින් ස්වර්ණ
පුස්තක තෝරා සම්මාන දැක්වීම පැසසිය යුතු දෙයකි.
මේ පුස්තක තේරීමේදී ඒවායේ අන්තර්ගතය මෙන්ම භාෂාව කෙරෙහි
ද සැලකිලිමත් විය යුතුය.
එහෙත් පසුගිය කාලය තුළ සිදුවූ මේ තේරීම්වලදී බස ගැන
සියයට සියයක් එසේ වී යැයි කිය නොහැකිය.
ග්‍රන්ථයක් ලිවීමේ දී අන්තර්ගතය මෙන්ම භාෂා ශෛලිය ද එක
හා සමානව වැදගත් වේ. මේ දෙකම සියයට පනහ පනහ බැගින් විය යුතුය.
මේ වර ස්වර්ණ පුස්තකය තේරීම පිළිබඳව එක්තරා සති අන්ත
පුවත්පතක පළවූ ලිපි අතර වූ සැලකිය යුතු සිරසක් මෙසේය.
“පාඨකයන් බොහෝ
දෙනෙක් කියන්නේ මෙය වෙනස්ම තේමාවක කතාවක් කියලයි.”
මෙහි ‘දෙනෙක්’
යන්න ‘දෙනකු’
වී නම් ෙකාතරම් අපුරුද?
රටවිරු
“මේ වසරේ
රටවිරුවන්ගෙන් අපේක්ෂිත ආදායම ඩොලර් මිලියන 7යි”. මෙය ද සතිඅන්ත පත්‍රයක දකින්නට ලැබුණකි. ඩොලර් මිලියන 7ක ආදායමක් පිටරට යන්නන්ගෙන් මෙරටට ලැබීම සතුටට කරුණකි.
එහෙත් මෙහිදී සලකා බැලිය යුත්තේ රටවිරුවන් යන වචනයයි.
මේ කියන්නේ නානාප්‍රකාර වැඩ කටයුතු සඳහා මැදපෙරදිග
යන්නවුන් ගැනය. ඉතින් මේ අයට රට විරුවන් යන නම සුදුසුද?
ඒ පුවත්පත් අතිරේකයේ නම ද විහිළුවකි. එය සිංහල ඉංගිරිසි
හා දෙමළ යන අකුරුවලින් සැදුණු තනි වචනයකි.
No comments:
Post a Comment